Unhook for Life.
ගිනි ගහන කොළඹට හැන්දෑව උදා වෙමින් තිබුණා. මං PickMe එකෙන් බැහැලා, අඩියට දෙකට මහවැලියට රිංගුවා. ඉස්සරහ දොර වහලා. එහෙමයි කියලා ඇතුළ් වෙන්න තහනමක් නෑ. පස්ස දොර තියෙන්නේ ඒකටනේ.
මං වැඩිය කාටවත් notice වෙන්නෙ නැති, කෙළවරේ පුටුවක හරිබරි ගැහුණා. පොල් තෙල් පහනෙ ගිනිදැල්, කම්මැලි කමට ඔහේ වැනෙනවා. උත්සවේ පටං අරං පැය එක හමාරක් ගිහිල්ලත්, තාම පිළිගැනීමේ කතාව ඉවර නැතිකොට, පොල් තෙල් පහනටත් කම්මැලි හිතෙන එක පුදුමයක් යැ.
හෝව් හෝව්... චුට්ටක් ඉන්න. මුලින් ම මං කවුද කියලා අඳුන්නලා දෙන්නං. මගෙ නම මීෂා. මං හිතන් නෑ ඔයා ආයෙ ලෝක ගැට්ට වෙනකල් පීරුවත්, මං වගේ හැඩකාර, වැඩකාර, දඟකාර, විසේකාර කොල්ලෙක් ඔයාට හම්බෙයි කියලා. ඔයා හිතුවා හරි. වෙලාවකට මගෙ හැසිරීම ෂ්‍රේක්ගෙ බූරු පැටියා වගේ තමයි.
ඈනුම් පහ හයකට පස්සේ, දීර්ඝ පිළිගැනීමේ කතාව ඉවර කරපු කොණ්ඩෙ කැරළි නිවේදිකාව, පෝඩියම් එකෙන් බැහැලා මයික් එක අතට අරන් stage එක මැද්දට ආවා. ඒකි ඇඳලා හිටියේ නිල් පාට ලුන්ගියකට සුදු පාට ක්‍රොප් ටොප් එකක්. පේන තාලෙට පපුව හොඳ කෙල්ලෙක්. අපරාදේ... අර පැය දෙකේ පිළිගැනීමේ කතාව ඔන්න ඔහොම stage එක මැද්දේ ඉඳලා කරා නම්, අපි මෙච්චර ඈනුම් අරින්නෙ නෑනේ!
අනිමිස ලෝචනෙන් stage එක දිහා බලා ඉද්දි, නහයට නුහුරු වැනිලා සුවඳක් දැනිලා මං වම් පැත්ත බැලුවා. ආව්... මෙන්න නොසෑහෙන්න පපුව හොඳ ස්ත්‍රී පරාණයක් මට එහාපැත්තේ ඉඳගෙන! ඉස්සරහා බලාගෙන ම කලබලෙන් wet tissue එකකින් උඩු තොලට උඩින් වැටිච්ච දාඩිය බිංදු පිහිදනවා.
අනේ lipstick එක චොර වෙයි මැණිකේ... බලාගෙන හෙමින්...!
ඒම හිතන පමාවට වැනිලා සුවඳ මං දිහා බැලුවා. මං ක්ෂණිකව හඳුනාගැනීමේ ළා හිනාවක් මූණට ගත්තා. ඒයාගෙ මූණටත්, පමා වෙලා ළා හිනාවක් ආවා. ඒත් මං බලා ඉද්දිම, ඒ හිනාව කන් දෙක දිහාවට ඇදුණා.
“මීෂා නේද...?”
එයාගෙ මූණේ ඇඳෙන විස්මය මුසු වෙච්ච මන්දස්මිතිය මට ඉර එළිය වගේ හැඟීමක් ගෙනාවා.
“ඔව්...” මං මගෙ ගැඹුරු හැඟීම්බර කටහඬින් උත්තර දුන්නා. ඒක over act එකක් කියලා මට එවෙලෙ හිතුණා. ඒත් ඒ හිතුවිල්ලට තප්පර දෙක තුනකවත් ආයුෂ තිබුණේ නෑ.
“Well… this meeting just made my day”
වැනිලා සුවඳ මට අත දික් කළා. මං ඒ පිරුණු සුදු පැහැති අත ටිකක් තදින් උණුසුම්ව අල්ලගත්තා. මේ මට පේන්නෙ, අද දවසේ ඒ මූණ උඩට වැටුණු පළවෙනි හිනාරැල්ල කියන එක තේරුම් ගන්න, ඒ වචන ටික ඇරුණම, මට මේ ඇස් දෙක සාක්කියි.
මට ඒ කාන්දම් ඇස්වලින් ඇස් දෙක අහකට ගන්න ටිකක් අමාරු වුණා. ඒත් මං ඒ අත හෙමීට අත ඇරියා. ඇස්වල අඳුන් බොඳ වෙලා තියෙන බව කියලා එයාව අපහසුතාවයට පත් කරන්න මට උවමනාවක් තිබුණේ නෑ.
“ඔයාට හරිම ලස්සන ඇස් දෙකක් තියෙන්නෙ...”

මං ඒක කිව්වේ බොරුවට නෙමෙයි. ඒත් ඒක විශ්වාස කරන පාටක් එයාගෙ මූණෙ තිබුණේ නෑ කියලා මට විශ්වාසයි.
“By the way… මං ඔයා ඉන්න කිසිම drama එකක් miss කරන්නෙ නෑ. And… congrats on your last Sumathi Award! You totally deserved it!”
එයා මුමුණන හැම වචනෙක ම උද්‍යෝගය සහ නොඉවසිල්ල පිරිලා තිබුණා. මට ලෝභ හිතුණා. මං ඒ කාන්දම් ඇස් බැල්ම අල්ලගෙන ම හිටියා. ඒත්, එකපාරට ම එයා ගැස්සිලා ඉස්සරහ බැලුවා. ඉද්ද ගැහුවා වගේ පුටුවෙන් නැගිට්ටා. ඔඩොක්කුවේ තිබුණු hand bag එක පුටුවෙන් තියලා එයා වේගෙන් වේගෙන් පුටු පේළි මැද්දෙන් ගිහින් stage එකට ගොඩ වුණා. ඒ කැරළි කොණ්ඩකාරි stage එකේ ඉඳන් තුන් වෙනි වතාවටත් මෙයැයිගේ නම කියලා බෙරිහන් දුන්නට පස්සේ!
“සස්මිතා මායාදුන්න...”
මං ඒ තප්පරේ ඉඳලා හුස්ම ගන්නවත් ශක්තිය වැය නොකර එයා දිහා බලාගෙන හිටියා. සස්මිතා කතා කරපු එක වචනයක්වත් මගෙ ඔලුවට ගියේ නෑ. ඒත් ඒ කතාව පුරාවට ම සස්මිතාගෙ ඇස් විටින් විට ප්‍රේක්ෂකාගාරය කෙළවරට යොමු වුණා. එහෙම වෙලාවල්වල අපේ ඇස් යා වුණා. ඇත්ත! ඒවයෙ කාන්දම් බලයක් තිබුණා.
මිනිත්තු ගාණක කෙටි කතාවකට පස්සේ, සස්මිතා මායාදුන්න අර වැනිලා සුවඳ එක්ක ඇවිත් මගෙ එහාපැත්තෙ පුටුවට බර වුණා. ලොකු හුස්මකට, ඒ පපුව ඉස්සිලා පාත් වෙන හැටි මං දැක්කා. ඒත් නොදැක්කා වගේ හිටියා
“මගෙ කතාව බෝරිං වගේද...”
සස්මිතා ඒ වැනිලා සුවඳ එක්ක මගෙ කන්පෙතිවලට පාත් වෙද්දි මට කට උත්තර නැති වුණා.
“ඇත්තට ම මට එක වචනයක්වත් ඇහුණෙ නෑ...”
“What…?”
සස්මිතා විස්මිත වෙලා අහනකොට, මට ඇත්ත නොකියා ඉන්න බැරි වුණා.
“ඔව්... මං ඔයා දිහා බලාගෙන හිටියා විතරයි. මොනවත් ම ඇහුණෙ නෑ...”
සස්මිතා ආඩම්බර හිනාවක එරවිල්ලකුත් ඔතලා මං දිහා බලා ඉන්නවා. මං වචන හංගගෙන ඒ බැල්මෙ එල්ලිලා ඉන්නවා. පසුබිමෙන් ඇහෙන අත්පොළසන් හරියට අපේ ඇස් යා වුණු මොහොත සමරනවා වගේ මට දැනෙනවා. හරි මගුලක් වුණානේ මේක!
“Coffee or me?”
මං එපාම කියද්දි මගෙ කටින් ඒ වචන එළියට පැන්නා. සස්මිතා නෝනා දැං එකක් තෝරගන් නැතෑ!
“Coffee!!!”
මං ඉස්සරහ බලාගත්තා බලාගත්තමයි. කැරළි කොණ්ඩකාරි ප්‍රේක්ෂකාගාරයට ආචාර කරලා, කට්ටිය නැගිටින්න පටන් ගන්නකල් ම, ආයෙ එක තප්පර අරික්කාලකටවත් ඇහැක් ඇරලා වම් පැත්ත බැලුවේ නෑ. හැබැයි දිගටම අර වැනිලා සුවඳට මගෙ පෙනහළු පිරුණා.
සස්මිතා මට කලින් නැගිට්ටා. මගෙ හිතුවක්කාර අත මං එපා කියද්දි සස්මිතාගෙ අතින් අල්ලගත්තා. සස්මිතා විදිල්ලක් වගේ හැරුණා. මං නැගිට්ට හන්දා අපේ ඇස් හොඳට ම යා වුණා.
“Barista???”
අම්මපල්ලා. මං අහන්න කලින් සස්මිතා එහෙම ඇහුවා. මම ඔව් කියාගන්නත් කලින් සස්මිතා ඉස්සර වුණා. මහවැලියෙන් එළියට එනකල් ම මගෙයි සස්මිතාගෙයි අත් super glue ගාලා වගේ තිබුණා. ඊටපස්සේ මට තිබුණේ සස්මිතාගෙ පිටිපස්සෙන් parking එකට ගිහින් එයාගෙ car එකට නගින්න. ඊටපස්සේ රොබෝ කෙනෙක් වගේ Barista එකෙන් බහින්න!
කෝපි සුවඳ දැණුනාට පස්සේ මගෙ සතා එළියට ආවා. මං සස්මිතාට Barista එකේ දොර ඇරලා දුන්නා. Cashier එක ළඟට ගිහින් ආපහු මං සස්මිතාගෙ ඇස් අල්ලගත්තා.
“Cappuccino…?” සස්මිතාට කලින් මං අහගත්තා.
සස්මිතා ඔව් කියන්න ලෑස්ති වෙනකොට ම මං හිනාවක් දාලා order එක place කරලා cashier බොසාට card එක දුන්නා. ඊට පස්සේ ඒ වෙලාවෙ ඉතුරු වෙලා තිබුණු ලස්සන ම තැනට මං සස්මිතාව guide කළා. පුටුව එළියට ඇදලා දුන්නා. සස්මිතාව වාඩි කරවලා, මං ඒ කාන්දම් ඇස් අල්ලගෙන ම එයාගෙ ඉස්සරහින් වාඩි වුණා.
“මී...ෂා...”
සස්මිතා මගෙ නම කිව්වෙ ඇදලා. ප්‍රශ්නයක් අහන්න යන තාලෙට. මං එයා ඊළඟට ඒක අහනකල් බලං හිටියා.

“Okay, be honest… what do you notice first in a woman? 😏”
ඔහෝ... අමා....රු ප්‍රශ්නයක්!
“Boobs!”
මං එපාම කියද්දි මගෙ කටින් ඒ වචන එළියට පැන්නා. ඒ නම් පිරිසිදු අවංකකම. නෑ කියනවද?
සස්මිතාගේ මූණ බිංදුවක්වත් වෙනස් වුණේ නෑ. මිනිත්තුවක් යන්න කලින් ඒ ඉරියව්වෙන් ම ඒ බැල්මෙන් ම සස්මිතා වචන ටිකක් එළියට විසි කළා.
“Well... yeah… had to remove one coz of breast cancer...!”
හැට්ටකට්ටකින් heart එකට අනිනවා වගේ feeling එකක් මට ආවා. ඒ වුණාට මට කියන්න එකම එක ඇත්තක් තිබුණා. ඒක එයා නොදන්නවා නෙමෙයි.
“But… your eyes… they’re the most beautiful part of you.”
උණු කැපචිනෝ දෙකක් මේසෙට ආවා. මං එයාට එක sugar stick එකක් විතරක් කලවම් කරලා cappuccino එක serve කළා. ඒ සේරම කරනකල් සස්මිතා එයාගෙ ලස්සන ඇස්වලින් මං දිහා බලාගෙන ම හිටියා.
“Thank you මීෂා...”
ඒ ස්තූතිය ඇතුළෙ සස්මිතාට කියාගන්න ඕන හැමදේම තිබුණා.
