HOW I MET HIM
මං අවුරුදු 23දි විතර, එක නසරානි මිනිහෙකුට ආදරේ කළා. ඒ කාලෙ මං හිතාගෙන හිටියේ මේක තමයි මේ ලෝකෙ තියෙන උත්කෘෂ්ඨ ම ආදර කතාව කියලා. මං ඒකට ‘අවසාන අහම්බකාරක ප්‍රේමය’ කියලා නමකුත් දාගෙන හිටියා. මොකද මම හිතාගෙන හිටියේ, මින් මතුවට මගෙ ජීවිතේ තියෙන තාක් කල් මොන ප්‍රාතිහාර්ය සිද්ධ වුණත්, ඒ තරම් ආදරේ කරන කෙනෙක් ආයෙ මුණගැහෙන එකක් නෑ කියලා. අන්තිමට, ඌ ඒ නමටත් කෙළියා. ඒක ඛේදවාචකයක් වෙලා ඉවර වුණාට පස්සේ, දුක නැති කිරීමේ මාර්ගය විදිහට මං තෝරගත්තේ වැඩ! සමහර දවස්වලට එක තප්පරයක්වත් නිදි නැතුව හතර වෙනි දවසෙත් රෑ වෙනකල් වැඩ කරපු වෙලාවල් තිබුණා.
එදාත් එහෙම මම ඔෆිස් එකේ කිරි කොරහ නටන, හතරවෙනි දවසක්!
ඒ වගේ over tired ඉන්න වෙලාවට, වැඩ වැඩි වුණාම මම සින්ක් එක හෝදනවා. පැළවලට වතුර දානවා. Messenger messagesවලට reply කරනවා වගේ wired දේවල් කරනවා. ඔය කියන දවසෙත් මම උදේ සින්ක් එක හෝදලා එන ගමන්, random messenger message එකකට reply කරා.
හඳුනාගත නොහැකි හේතුවක් හින්දා, ඒ chat එක දිගට ඇදුණා.
සාමාන්‍යෙන් ‘නිදාගන්නෙ නැතුව වැඩ කරන හතරවෙනි දවස’ කියන්නෙ මට, සාතන්ගෙ දවස වගේ. අනිවාරෙන් එදාට හවස් වෙනකොට මං එකපාරට අඬන්න ගන්නවා. ඊටපස්සෙ වමනෙ දානවා. පොඩ්ඩක් black out වෙලා ඉඳලා, ඔළුව උස්සගත්තට පස්සේ මොනවාහරි සිනිදු දෙයක් කාලා, කිරි එකක් බීලා, සිගරට් එකක් ගැහුවම, ආයේ රෑ වෙනකල් අදින්න පුළුවන්!
මේ කියන දවසෙත් හවස් වෙද්දි යාලුවෝ ටික, මගේ ‘හතරවෙනි දවසේ නාට්ටිය’ බලාපොරොත්තුවෙන් හිටියේ. Damn! Trust me… රෑ කරුවල වැටෙද්දිත් මං හරිම ප්‍රබෝධමත්ව හිටියා. Random messenger chat එකකට එච්චර දෙයක් කරන්න පුළුවන් කියලා මං ඒ වෙනකල් දැනගෙන හිටියේ නෑ.
වෙලාව රෑ අටයි. Random messenger chat එක දැන් ඔෆිස් එක ඉස්සරහා!

මං මගෙ හොඳම යාලුවාවත් ඇදගෙන ඔෆිස් එකෙන් එළියට ආවා. ගේට් එක ඉස්සරහා Beep පාට ලාන්සර් එකක් නවත්තලා තිබුණා. යාලුවා මොනවත් ම අහන්න කලින් මං ඌව පිටිපස්සෙ දොර ඇරලා ඌව ඇතුළට තල්ලු කරලා, මං ඉස්සරහින් නැග්ගා. මං මුලින් ම කළේ එයාට යාලුවාව අඳුන්නලා දීපු එක.
ඒක කෙටිම කෙටි “Hi bro…” එකකින් ඉවර වුණා. දෙන්නම confuse වෙලා ඉන්නේ කියලා මං දන්නවා.
“හරි... එතකොට ඔයා...?”
මං හරියට ම එයාගෙ මූණ දිහා බැලුවේ එවෙලේ! හැන්ඩි කොල්ලෙක්...
“දවසම chat එකේ හිටියේ නමවත් බලන් නැතුවද...?” කියලා එයා අහනකොට මෝඩ හිනාවක් දානවා ඇරෙන්න මට වෙන කියන්න දෙයක් මතක් වුණේ නෑ. දැන් යාලුවා දන්නවා, මගෙ හතරවෙනි දවස ප්‍රබෝධමත්ව ගත කරන්න බලය, ජවය, ශක්තිය ගෙනාපු නෙස්ටමෝල්ට් එක තමයි මේ driving seat එකේ ඉන්නෙ කියලා.
යාලුවා කැඩිච්ච දෙමළෙන් මේ situation එක ගැන කියන කතා ටික මට උගෙ මූණ බැලුවම ඇහෙනවා. ඒ හින්දා මං දිගට ම ආවේ ඉස්සරහ බලාගෙන.
එයා එයාගෙ නමේ මුලයි අගයි කිව්වා. මැද කෑල්ල කිව්වේ නෑ. මං ආපහු ඒක ඇහුවා. මොකද ගොඩක් මිනිස්සු එයාලාගෙ නමේ ලස්සන ම කෑල්ල තමයි එහෙම හලලා තියෙන්නේ. පොරත් එහෙමද කියලා මට දැනගන්න ඕන වුණා.
ඔව්! මං හිතුවා හරි. ලස්සන ම නම තමයි හළලා තියෙන්නේ. හැබැයි ඒ නම ඩයල් එකට ගැළපෙනවද කියලා දැනගන්න නම් පොරව ටිකක් ගැඹුරින් අධ්‍යනය කරන්න වෙනවා කියලා මට හිතුණා.
ඒත් වාහනේ පිටිපස්සේ යාලුවා ඉන්න නිසා අපි එවෙලෙ කතා කරේ ඊයේත් නිදාගන්න බැරි වුණා. එළි වෙනකල් ගසලා ඉන්නේ, කන්නත් බැරි වුණා වගේ එලොවටත් නැති මෙලොවටත් නැති basic දේවල්. හැබැයි මං ඒ basic chat එකෙං වැදගත් දෙයක් දැනගත්තා. එයා photographer කෙනෙක්. Wedding photographer කෙනෙක්. Passionate wedding photographer කෙනෙක්!
මොකද ඒක කියනකොටත් එයාගෙ ඇස්වල දීප්තියක් තියෙනවා මං දැක්කා.
කෙටි සමුගැනීමකින් පස්සේ, යාලුවා අතුරුගිරියෙන් බැස්සා. ඊටපස්සේ තව ටිකක් හොඳට මං එයාගෙ මූණට එබිලා බැලුවා. එයාට ඒකට හිනා ගියා. ඒ තමයි මං එයාගෙ හිනාව දැකපු පළවෙනි වතාව. එයා වැඩිපුර ලස්සන හිනාවෙනකොට තමයි! මං ඒක තහවුරු කරගත්තා.
“ඉතිං...”
එයා එහෙම අහනකොට, මං ඉතුරු සේරම හිතාගත්තා. දන්නවද... ඉතිං කියලා පටං ගත්තොත් කොහෙංවත් ඉවර වෙන්නෙ නෑ. මං ඒක එයාටත් කිව්වා.
කාර් එක පාක් කරලා එයා මාව අතින් අල්ලගෙන එයාගෙ cute apartment එකට එක්කං ගියා. එතන හැමදේම cute විදිහට තිබුණා. කොළ පාට සෝෆා එකක්, Calm සුදු පාට එළි, සෙල්ෂියස් අංශක 18ක උණුසුමක්, දඩ මැක් පොජ්ජක layers බර ගාණක edit එකක්. ඒක ළා කහ පාට එළි සහිත ප්‍රංශ වෙඩිමක්...!
ඒ cute මේසෙ උඩ, වතුර චුට්ටක් පුරවපු පොඩි shot glass එකක දාලා ක්‍රිසන්තිමම් මලක් තිබුණා. මං දොරෙන් ඇතුළු වුණාට පස්සේ වටේටම ඇස් යවලා, කෙළින් ම ගියේ ඒ ක්‍රිසන්තිමම් මල ළඟට. අතට ගන්නෙ නැතුව, ඒක දිහා බලාගෙන ඉද්දි එයා ඇවිල්ලා ඒක අතට අරන් මගෙ අතට දුන්නා.
“ඔයා තියාගන්න...! යද්දි අරං යන්න...”
මට හරිම chill හැඟීමක් දැණුනා. ඒ හැඟීම, එයා මට වඩා මාස ගාණක් බාලයි කියලා දැනගත්ත වෙලාවෙවත් නැති වුණේ නෑ. [මොකද සාමාන්‍යෙන් මට ඒ කාලේ මල්ලිලා පේන්න බෑ]
එයා එඩිට් එකේ ප්‍රොජෙක්ට් ෆයිල් එක වහලා දාලා “දිගැසියේ” play වෙන්න දැම්මා.
ඊටපස්සේ මවුස් පෑඩ් එක උඩ ගොඩ ගහලා තිබ්බ මල් අහුරෙන් කිනිත්තක් අරන් කොනිති ගගහා, සීරුවට ඔතන්න පටන් ගත්තා. එයා ඔතනකල්, මං එයාගෙ cute කුස්සියේ කිරි කෝපි එකක් හදන්න අවසර ගත්තා.
“ඔයා තමයි මේ pantry එක use කරන පළවෙනි කෙනා...”
එයා මට කිරි කෝපි හදන්න ඕන කරන දේවල් ටික ළඟට දෙන ගමන් එහෙම කිව්වා. ඒක මට තේරුණා. තාම සීනි කෝපි තේ කිරි තේ වෙරළු මසං ජමනාරං බෝතල්වලට දාගෙනවත් තිබුණෙ නෑ. හැබැයි ගෙදරට ඇවිත් මාස තුනක් ලු!

පොඩි plate එකකට චොකලට් කුකීස් දාගෙන අපි අර කොළ පාට සෝෆා එකේ වාඩි වුණා. එතකොට වෙලාව නමය පහු වෙලා මිනිත්තු ගාණක් වෙන්න ඇති. අපි දෙන්නටම තිබුණෙ කටවල් නෙමෙයි. වක්කඩවල්! මං මගෙ ජීවිතේ පළවෙනි වතාවට, තොරතෝංචියක් නැතුව කියවන්න කතා තියෙන කොල්ලෙක් මුණගැසීමේ ප්‍රීතිය අත්විඳිමින් හිටියා. මට වගේම එයාටත්, අරුම පුදුම කතා තිබුණා. සහ එයාට ඒවා රහට කියන්න පුළුවන් හැකියාවක් තිබුණා. නමේ මැද කෑල්ල කොච්චර ලස්සන වුණත්, මේ යකා ඒ නමේ අහලකින්වත් තියන්න බෑ කියලා එයා කට ඇරිය ගමන් තේරුණා. කොහොමහරි... මං මගෙ ජීවිත කතාවේ සංවේදීම කොටස කියනකොට හරියට ම රෑ දොළහයි.
“මේ මං නිදාගන්නෙ නැතුව ගෙවන හතරවෙනි රැය...! ආපහු හෙට උදේ වැඩ...”
මං එහෙම ඒ පරිච්ඡේදය ඉවර කරද්දි එයා නැගිටලා ගිහින් ඕඩිකොළොං එකක් අරං ආවා. එතන ඉඳලා එයා මගෙ ඔලුව ඇතුළෙ සිනිදුවට මකුළු දැල් වියනවා වගේ මට දැණුනා. මල් කිණිත්තක් කිණිත්තක් ගානේ, මන්දාකිණි ගාණක් පහු කරලා ඉන්න වෙලාවක, එහෙම සිනිදුවට සුවඳට සීතලට, ලස්සන පිරිමි ළමයෙක් ඔළුව අතගානකොට කොයි වගේද කියනවා නම්, මට එයාගෙ ඔඩෙක්කෙම සනීපෙට නින්ද ගියා. හරියට ම පැය තුන හමාරක් ගෙවිලා, මට ඇහැරෙනකොටත් එයා එහෙම නොනවත්වා මගෙ ඔලුව අතගාමින් හිටියා.
“හොඳටම නින්ද ගියා නේද මැණිකේ...?”
ඒ ඇහැරෙන තප්පරේ වෙනකොට එයාගෙ ආමන්ත්‍රණය වඩා මෘදු වෙලා තිබුණා.
ඊටපස්සේ, එයා මාව ගෙදර ගෙනත් ඇරලලා, සුවපහසු වැළඳගැනීමකින් පස්සේ පිටත් වුණා. පහුවදා උදේ නැගිටිනකොට, මං එහෙම කෙනෙක් මුණ ගැහුණා කියලා කියන්න මට තිබුණු එකම සාක්ෂිය අර ක්‍රිසන්තිමම් මල විතරයි!
මාස තුනක් තිස්සේ මේ මනුස්සයා ghost… හිමිදිරි පාන්දර වෙනකල් මගෙ ඔලුව අතගෑවේ භූතයෙක්ද කියලා මං ඒ මාස තුනේම කල්පනා කළා. තනියට මගෙ මේසෙ උඩ, වතුර චුට්ටක් පුරවපු පොඩි shot glass එකකට වෙලා අර ක්‍රිසන්තිමම් මලත් හිටියා.
තුන් වෙනි මාසෙ දවසක මමයි මලයි එකතු වෙලා මේ භූතයාට නමක් දැම්මා.
ඒ තමයි Casper…!
Casper අපේ පළවෙනිම හමුව දවසේ, එයාගෙ කොළ පාට සෝෆා එක උඩට වෙලා චොකලට් කුකී එකක් කකා කිරි කෝපි බොන ගමන් දුම් වළලු යව යව එයා කියපු එක වචන පේළියක් තියෙනවා. මට ඒ මොහොත මේ දැනුත් ෆිල්ම් එකක් වගේ මැවෙනවා.
“Everyone has a story…”
හැම කෙනෙකුට ම කතාවක් තියෙනවා. අද ඉඳලා ඔයාලා කියවන්න යන්නේ ඒ හිටපු හැටියෙ අතුරුදහන් වෙන භූතයාගෙ කතාව.

